Monday, August 5, 2013

 

 ජල පෙරන වර්ග -1



                     මූලික ෆිල්ටර් වර්ග කිහිපයක් තියෙනවා.ඒවායේ ක්‍රියාකාරිත්වය අනුව බයෝලොජිකල්, කෙමිකල් සහ මිකෑනිකල් කියලා වර්ග තුනකට වෙන්වෙනවා.
පහල තියෙන්නේ එක එක ක්‍රියාකාරීත්වයන්ට අනුකූල ෆිල්ටර් වර්ග !


අන්ඩර් ග්‍රැවල් ෆිල්ටර් (Under Gravel Filter) 
මේ ෆිල්ටර් ජාතිය මසුන් ඇති කරන අය අතර ගොඩක් ජනප්‍රිය ෆිල්ටර් ජාතියක්.මේ ෆිල්ටර් වර්ගය අයත් වෙන්නේ බයෝලොජිකල් ෆිල්ටර් ගණයට. මේ ෆිල්ටරයෙන් ගොඩක්ම කෙරෙන්නේ නයිටජනීය අපද්‍රව්‍ය ඉවත් කරන එක. වතුරේ දිය වෙච්ච නයිටජනීය ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනකොට ඇල්ගී වර්ග වැඩි වශයෙන් බෝවීම සිද්ද වෙනවා. මේ නිසා මාළුන්ට අහිතකර පරිසරයක් ගොඩ නැගෙනවා.

මේ ෆිල්ටරයේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ ෆිල්ටර් ප්ලේට් එක (සිදුරු සහිත හතරැස් මුහුනත) සහ  ලිෆ්ට් ටියුබ් (ඉහලට එසවුන නලය) !
මේ ෆිල්ටර් එක ක්‍රියාත්මක වෙනකොට ෆිල්ටර් ප්ලේට් එක හා ග්‍රැවල් තට්ටුව හරහා ජලය පහලට ඇඳගෙන ඉහලට එසවුන නළයෙන් පිටකරනවා. එතකොට ෆිල්ටර් ප්ලේට් එක මතුපිට තියෙන මාළුන්ගේ අපද්‍රව්‍යත් එක්ක ඔක්සිජන් ගැටීම වැඩිපුර සිද්ද වෙනවා. ජලයේ තියෙන ඔක්සිජනුයි නයිට්‍රජනීය අපද්‍රව්‍යයි එකට ගැටෙනවා. එතකොට විවිධ ජලයේ ඉන්න වාසිදායක බැක්ටීරීයා වර්ග අපද්‍රව්‍යයි ඔක්සිජනුත් එක්ක එකතු වෙලා නයිට්‍රජන් වායුවයි ඇමෝනියා වායුවයි හදනවා. මේ වායු එතරම් කලයේ දියවෙන්නේ නැති නිසා වායුගෝලයට මුදාහැරෙනවා.

මේක ස්බාවික නයිට්‍රජන් චක්‍රය ටැංකිය ඇතුලෙදිම කලා හා සමානයි !
කාලයක් යනකොට ෆිල්ටර් ප්ලේට් එකේ අපද්‍රව්‍ය හිර වෙලා මේ ක්‍රියාවලිය අකර්මන්‍ය වෙන්න පුලුවන්. මේ නිසා ෆිල්ටරය අඩුම තරමේ සති දෙකකට වතාවක් වත් සුද්ධ කරනවා නම් තමා හොඳ.







කෝනර් ෆිල්ටර් (Corner Filters)
මේ ෆිල්ටර් අයිති වෙන්නේ මිකෑනිකල් හා කෙමිකල් ෆිල්ටර් ගණයට. කොටින්ම මේ ෆිල්ටරය ඒ ගණ දෙකේම එකතුවක් කියලා කියන්න පුලුවන්.මේ ෆිල්ටර් එකත් ලාබදායි ෆිල්ටර් එකක්. නමුත් මේ ෆිල්ටරය වඩාත්ම ගැලපෙන්නේ කුඩා මාළු ටැංකි වලට.

මේ ෆිල්ටරයේ ක්‍රියාකාරීත්වය ගැන කියනවා නම් එක කෙලවරකින් ජල පොම්පයට සම්බන්ධ කළ යුතු තැනකුත් තව කෙලවරකින් වායු පොම්පයට (ඔක්සිජන් සැපයුමට) සම්බන්ධ කළ යුතු තැනකුත් තියෙනවා.  ජල පොම්පයෙන් ලැබෙන ජල සැපයුමේ තියෙන අපද්‍රව්‍ය සේරම පහල තියෙන කෙඳි ස්ථරයේ රැදෙනවා. අපද්‍රව්‍ය රහිත ජලය ක්‍රියාකාරී කාබන් ස්ථරය ඔස්සේ ගිහින් තව දුරටත් පිරිසිඳු වීමක් සිද්ධ වෙනවා.

ටිකක් විතර වැඩ වැඩි උනාට මේක අවස්තා දෙකකදි ජලය පිරිසිඳු වෙන ජල ෆිල්ටරයක් !

නමුත් සමහර ෆිල්ටර වල ඇක්ටිව් කාබන් ස්ථරය නෑ. ජල පොම්පයට සම්බන්ධ කිරීමකුත් අවශ්‍ය වෙන්නේ නෑ. මේ නිසා වියදම අතින් යම් ලාබදායි බවක් ලැබිලා තියෙනවා.


 ෆිල්ටර් ගැන ඉතුරු ටික ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
ජය වේවා !

දවසේ සුරතල් මත්ස්‍යයා -  ටයිගර් බාබ් (tiger barb)


 

 ටැංකියක් පටන් ගනිමු - 2



                              කලින් ලිපියේ දි අපි අළුතින්ම පටන් ගන්න මාළු ටැංකියක් පදම් කරගන්න හැටි සහ ටැංකියක් තොරගන්න    හැටි කියලා දුන්නා නෙහ්.

අද කියලා දෙන්න යන්නේ අළුතින් පටන් ගන්න ටැංකියක වතුර පෙරනය (ෆිල්ටරය) ස්ථාපිත කරගන්න හැටි සහ ජලජ පැලෑටි සිටුවා ගන්න ආකාරය කියලා දෙන්න.  කවුරුත් දන්නවා නෙව ෆිල්ටරයකින් කරන්නේ වතුර පෙරන එක කියලා.

මාළු ටැංකිවලට පාවිච්චි ෆිල්ටරුත් වර්ග කිහිපයක්ම තියෙනවා. පහල පින්තූරයේ තියෙන්නේ එක් එක් වර්ගයේ ෆිල්ටර් වලට උදාහරණ ! එක් එක් ෆිල්ටරයේ ක්‍රියාකාරීත්වය අනුව ෆිල්ටර් වර්ග කිහිපයකට බෙදෙනවා.  ලිපිය නීරස වෙන නිසා මේවා ගැන වැඩිදුර විස්තර කරන්න යන්නේ නෑ. මේ ෆිල්ටර් අතරින් ගොඩක්ම ජනප්‍රිය ෆිල්ටර් ජාතිය තමයි අන්ඩර්ග්‍රැවල් ෆිල්ටරය!



ඒ නිසා මම මේ ලිපියෙන් කියන්න යන්නේ අන්ඩග්‍රැවල් ෆිල්ටරයක්  හරියාකාරව ස්ථාපනය කරගන්නෙ කොග්හොමද කියලා. ඉංග්‍රීසියෙන් ග්‍රැවල් කියන්නේ කුඩා කුඩා ගල් වර්ග වලට. අන්න ඒ කුඩා ගල් වර්ග වලට යටින් ස්ථාපිත කරන ෆිල්ටරය කිසා තමයි මේකට අන්ඩර්ග්‍රැවල් ෆිල්ටරය කියන්නේ.

ෆිල්ටරය ස්ථාපිත කරන්නේ මෙහෙමයි !

මුලින්ම ටැංකියේ මදක් අඳුරු කෙලවරක් තෝරාගන්න. ඊට පස්සේ ෆිල්ටරයේ බටය ටැංකියේ මුල්ලකට ආසන්න වෙන විදිහට ෆිල්ටරය ස්ථානගත කරන්න. ඊට පස්සේ කුඩා ගල් වර්ග (ග්‍රැවල්) අඟලක් හෝ දෙකක් උසට අතුරන්න. ෆිල්ටරයේ හතරැස් පතුල වැහෙනකන්ම මේ කුඩා ගල් අතුරන්න.

ටැංකියේ අදුරු මුල්ලක ෆිල්ටරයේ බටය සවි කිරීමෙන් ටැංකියට ලස්සනක් එකතු වෙනවා.ඒ වගේම බිත්තර මගින් බෝවෙන ඒංජල් වගේ මාළු ජාති ෆිල්ටරයේ බටයේ බිත්තර අලවන නිසා උන්ටත් ඒක පහසුවක් වෙනවා.

හරි... අපි දැන් බලමු කොහොමද ජලජ පැලෑටි වර්ග හිටව ගන්නේ කියලා.

ජලජ පැලෑටි හිටවන එක වගේම හිටවන තැනත් ගොඩක් වැදගත් වෙනවා. කෙලින්ම සූර්යාලෝකය ලැබෙන තැනක පලෑටී හිටවනවා නම් ඒක හොඩක්ම හොඳයි.එතකොට ප්‍රභාසංස්ලේශනයට ඕන කරන ආලෝකය කෙලින්ම සූර්යාලෝකයෙන් ගන්ඩ පුලුවන්.

අඳුරු තැනක හිටවනවා නම් ජල ගැළුමකට වොට් 2-4ක වෙන පරිදි ටියුබ් ලයිට් එකක් ටැංකියට ඉහලින් සවිකරන්න අමතක කරන්න එපා.එහෙම නැති උනොත් ජලජ පැලෑටී ටික ජලයේ දියවෙච්ච ඔක්සිජන් ටික පාවිච්චි කරලා මාළුන්ට ඔක්සිජන් හිඟවීමක් ඇතිවෙන්න පුලුවන්.

 පැලෑටී සිටුව්විම සඳහාම තියෙන කුඩා දැල් බාස්කට් වර්ග පාවිච්චි කරන්න පුලුවන්. එහෙම නැත්නම් කෙලින්ම පහල කුඩාගල් ස්ථරයේ පොඩි කුහරයක් හදලා හිටවගන්නත් පුලුවන්. දැල් බාස්කට් පාවිච්චි කරනවා නම් ඒවා කුඩා ගල් ස්තරයේ සම්පූර්ණයෙන්ම ගිල්වන්න.

මීට අමතරව අළුතින් හදුන්වා දීලා තියෙන 'සක්ශන් කප්' වර්ගත් පාවිච්චි කරන්න පුලුවන්.


එහෙනම් ගිහින් එන්නම්...
ජය වේවා !

දවසේ සුරතල් මත්ස්‍යයා -  ගෝල්ඩ් ෆිෂ් (Gold Fish)

Sunday, August 4, 2013


ටැංකියක් පටන් ගනිමු

             

               බ්ලොග් එක පටන් ගත්තට පස්සේ අද තමයි හා හා පුරා කියලා ලිපියක් ලියන්න පටන් ගන්නේ. මම මේ බ්ලොග් එකේ තනිකරම ලියන්න හිතන් ඉන්නේ සුරතල් මාළු ගැන !

ඉතින් මාළු ඇති කරන්න කලින් ටැංකියක් පටන් ගන්න ඕන කරන මූලිකම දේවල් ටිකක් තමයි අද ලිපියෙන් කියන්න යන්නේ !

සිමෙන්ති ටැංකි  සහ වීදුරු ටැංකි කියලා ප්‍රධාන වශයෙන් ටැංකි වර්ග දෙකකට වෙන් කරන්න පුලුවන්. ඊට අමතරව ෆයිබර් ටැංකිත් වාහන ටයර් උපයෝගී කරගෙන නිර්මාණය කරන ටැංකිත් ඒ අතර වෙනවා. මේ කොයිම ටැංකියක් උනත් පලවෙනිවතාවට පාවිච්චි කරන්න ගන්නවා නම් මුලින්ම කළ යුතුම කාර්යය වෙන්නේ ටැංකිය හොඳ හැටි පදම් කිරීමයි !


ටැංකිය පදම් කිරීම එහෙම නැත්නම් සාමාන්‍ය  ව්‍යවහාරයට අනුව ටැංකිය පල් කිරීමක් සිදු කළ යුතු වෙනවා. වීදුරු ටංකියක් නම් වීදුරු ඇලවීමට ගන්නා සිලිකෝන් නම් ගම් වර්ගයේ සැර නිසාත් සිමෙන්ති ටැංකියක් නම් සිමෙන්තිවල භාෂ්මික ගතියත් සිමෙන්ති වල සැරත් මැකෙන්න ටැංකිය පල් කළ යුතු වෙනවා.

තමන් තෝරාගත් ටැංකිය පිරෙන්නම පිරිසිඳු වතුර පුරවන්න. ලිං වතුර නම් වඩාත්ම හොඳයි.  ඊට පස්සේ ටැංකිය සාමාන්‍ය පරිසරයේ සතියක් දෙකක් තියන්න. ගොඩක් වෙලාවට සිමෙන්ති ටැංකියක් පටන් ගන්න සමහරු කරන්නේ ටැංකිය ඉක්මනටම පදම් වෙන්න කියලා පොල් ලෙලි, වැටමාර අතු වැනි දේවල් එකතු කරනවා. ඊට දවස් තුනකට විතර පස්සේ පල් වෙච්ච වතුර අස් කරලා අළුතෙන් වතුර දාලා ටැංකියට මාළු ගෙනත් දානවා. මේක නම් නොකළ යුතුම වැඩක්.මොකද දවස් තුනකින් ටැංකියක් හොඳහැටි පදම් වෙන්නේ නෑ. අඩුම තරමේ සතියක්වත් ඊට අවශ්‍ය වෙනවා !

හොඳ හැටි පදම් වෙච්ච ටැංකිය දවසේ වැඩි කාළයක් හිරු එළිය කෙලින්ම පතිත වෙන්නේ නැති තැනකින් ස්ථානගත කරන්න. කෙලින්ම ඉර අවුව වැටෙන තැනක ටැංකිය ස්ථාන ගත කලහම ඇල්ගී වර්ග බෝ වීමේ ප්‍රවනතාව වැඩි වෙනවා. එවිට වතුර ඉක්මනින්ම කොළ පාටට හැරෙනවා.

සාමාන්‍ය පරිදි හිරු එළිය වගේම හෙවණ සහිත තැනක ටැංකිය ස්ථාන ගත කරනවා නම් වඩාත් හොඳයි.

ටැංකියට වතුර පුරවනකොට අඩුම තරමේ අඟල් අටක් දහයකටවත් උසකට වතුර පුරවන්න ඕන. ඒ වගේම ක්ලෝරීන් රහිත වතුර පාවිච්චි කරනවා නම් වඩාත්ම හොඳයි. 

ටැංකියට වතුර පුරවාගන්න කලින් ජලජ පැලෑටි සිටුවීමත් ඔක්සිජන් පද්ධතිය හා ජල පෙරනය (ෆිල්ටරය) ස්ථාන ගත කිරීමත් ටැංකියේ පතුල සකස් කිරීමත් සිදු කළ යුතු වෙනවා. ඒ සියල්ල ඊලඟ ලිපියෙන් බලා පොරොත්තු වන්න.

අද ලිපියෙන් කියලා දීපු දේවල් ඔයාලා දන්න දේවල්ම විතරක් වෙන්න ඇති. ඒත් මසුන් ඇති කරන එක මුල ඉඳලම පටන් ගන්න කියලා දීම සම්පූර්ණ කරන්න මේ දේවල් මතක් කරලා දෙන්න සිද්ධ උනා. ඉදිරි ලිපි වලදි ඔයාලා නොදන්න අළුත් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.

ජය වේවා !

දවසේ සුරතල් මත්ස්‍යයා-ප්ලේටි(platy)