Sunday, August 4, 2013


ටැංකියක් පටන් ගනිමු

             

               බ්ලොග් එක පටන් ගත්තට පස්සේ අද තමයි හා හා පුරා කියලා ලිපියක් ලියන්න පටන් ගන්නේ. මම මේ බ්ලොග් එකේ තනිකරම ලියන්න හිතන් ඉන්නේ සුරතල් මාළු ගැන !

ඉතින් මාළු ඇති කරන්න කලින් ටැංකියක් පටන් ගන්න ඕන කරන මූලිකම දේවල් ටිකක් තමයි අද ලිපියෙන් කියන්න යන්නේ !

සිමෙන්ති ටැංකි  සහ වීදුරු ටැංකි කියලා ප්‍රධාන වශයෙන් ටැංකි වර්ග දෙකකට වෙන් කරන්න පුලුවන්. ඊට අමතරව ෆයිබර් ටැංකිත් වාහන ටයර් උපයෝගී කරගෙන නිර්මාණය කරන ටැංකිත් ඒ අතර වෙනවා. මේ කොයිම ටැංකියක් උනත් පලවෙනිවතාවට පාවිච්චි කරන්න ගන්නවා නම් මුලින්ම කළ යුතුම කාර්යය වෙන්නේ ටැංකිය හොඳ හැටි පදම් කිරීමයි !


ටැංකිය පදම් කිරීම එහෙම නැත්නම් සාමාන්‍ය  ව්‍යවහාරයට අනුව ටැංකිය පල් කිරීමක් සිදු කළ යුතු වෙනවා. වීදුරු ටංකියක් නම් වීදුරු ඇලවීමට ගන්නා සිලිකෝන් නම් ගම් වර්ගයේ සැර නිසාත් සිමෙන්ති ටැංකියක් නම් සිමෙන්තිවල භාෂ්මික ගතියත් සිමෙන්ති වල සැරත් මැකෙන්න ටැංකිය පල් කළ යුතු වෙනවා.

තමන් තෝරාගත් ටැංකිය පිරෙන්නම පිරිසිඳු වතුර පුරවන්න. ලිං වතුර නම් වඩාත්ම හොඳයි.  ඊට පස්සේ ටැංකිය සාමාන්‍ය පරිසරයේ සතියක් දෙකක් තියන්න. ගොඩක් වෙලාවට සිමෙන්ති ටැංකියක් පටන් ගන්න සමහරු කරන්නේ ටැංකිය ඉක්මනටම පදම් වෙන්න කියලා පොල් ලෙලි, වැටමාර අතු වැනි දේවල් එකතු කරනවා. ඊට දවස් තුනකට විතර පස්සේ පල් වෙච්ච වතුර අස් කරලා අළුතෙන් වතුර දාලා ටැංකියට මාළු ගෙනත් දානවා. මේක නම් නොකළ යුතුම වැඩක්.මොකද දවස් තුනකින් ටැංකියක් හොඳහැටි පදම් වෙන්නේ නෑ. අඩුම තරමේ සතියක්වත් ඊට අවශ්‍ය වෙනවා !

හොඳ හැටි පදම් වෙච්ච ටැංකිය දවසේ වැඩි කාළයක් හිරු එළිය කෙලින්ම පතිත වෙන්නේ නැති තැනකින් ස්ථානගත කරන්න. කෙලින්ම ඉර අවුව වැටෙන තැනක ටැංකිය ස්ථාන ගත කලහම ඇල්ගී වර්ග බෝ වීමේ ප්‍රවනතාව වැඩි වෙනවා. එවිට වතුර ඉක්මනින්ම කොළ පාටට හැරෙනවා.

සාමාන්‍ය පරිදි හිරු එළිය වගේම හෙවණ සහිත තැනක ටැංකිය ස්ථාන ගත කරනවා නම් වඩාත් හොඳයි.

ටැංකියට වතුර පුරවනකොට අඩුම තරමේ අඟල් අටක් දහයකටවත් උසකට වතුර පුරවන්න ඕන. ඒ වගේම ක්ලෝරීන් රහිත වතුර පාවිච්චි කරනවා නම් වඩාත්ම හොඳයි. 

ටැංකියට වතුර පුරවාගන්න කලින් ජලජ පැලෑටි සිටුවීමත් ඔක්සිජන් පද්ධතිය හා ජල පෙරනය (ෆිල්ටරය) ස්ථාන ගත කිරීමත් ටැංකියේ පතුල සකස් කිරීමත් සිදු කළ යුතු වෙනවා. ඒ සියල්ල ඊලඟ ලිපියෙන් බලා පොරොත්තු වන්න.

අද ලිපියෙන් කියලා දීපු දේවල් ඔයාලා දන්න දේවල්ම විතරක් වෙන්න ඇති. ඒත් මසුන් ඇති කරන එක මුල ඉඳලම පටන් ගන්න කියලා දීම සම්පූර්ණ කරන්න මේ දේවල් මතක් කරලා දෙන්න සිද්ධ උනා. ඉදිරි ලිපි වලදි ඔයාලා නොදන්න අළුත් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.

ජය වේවා !

දවසේ සුරතල් මත්ස්‍යයා-ප්ලේටි(platy)

No comments:

Post a Comment